දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ ආපදා හේතුවෙන් විනාශයට පත්වූ ඉතිරි මාර්ග 22 ඉදිරි සතිය ඇතුළත තාවකාලිකව විවෘත කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ මාර්ග 316න් 294ක් මේ වනවිට තාවකාලිකව විවෘත කර ඇති බවයි.
එලෙස තාවකාලිකව විවෘත කෙරෙන මාර්ග ස්ථිර ලෙස විවෘත කිරීම සදහා ලබන ජනවාරි මාසයේ සිට වැඩ ආරම්භ කරන බවද ඔහු කියා සිටියා.
මේ අතර දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතැම් වෙරළ තීරයන් ද බලපෑමට ලක් වුණා. ඒ අනුව මහ වැසි සමග කළු ගඟ ඔස්සේ පාවී ආ ප්ලාස්ටික්, පොලිතින්, ලී කොට ආදී කසළ ටොන් ගණනක් කළු ගං මෝය පසු කර මුහුදට පාවී ගියා.
එලෙස මුහුදට එකතු වුණු කසල තොග පිටින් මේ වනවිට කළුතර වෙරළ තීරයට ගොඩ ගසා එහි සුන්දරත්වය ද නැති කර තිබෙනවා.
ඒ අනුව අසුන්දර තැනක් බවට පත්ව ඇති කළුතර වෙරළ පිරිසිදු කර යළි සුන්දර තැනක් බවට පත් කරන්න කළුතර අවට ජීවත්වන පිරිසක් ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටිනවා.
අද උදෑසන 07.00 සිට කළුතර දකුණ දුම්රිය ස්ථානයට ආසන්න වෙරළ තීරය අසලින් එම වැඩසටහන ආරම්භ වීමට නියමිතව ඇත්තේ කළුතර අවට ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ සහභාගිත්වයෙන්.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චන්දිම රාජසිංහ මහතා.




