ආර්ථික අර්බුදයකින් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකාව ඉන් මිදී යන්තමින් හුස්ම ගනිමින් සිටියදී ‘දිට්වා’ සුළි කුණාටුව සිදුකළ විනාශය රටේ ආර්ථිකය නැවත පසුපසට ඇද දැමීමක් බව නොරහසක්.

සිදුව ඇති ආපදා හේතුවෙන් රටේ ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑමේ ස්වභාවය කෙබඳුද යන්න අප විමසා බැලුවා.

රට තුළ සිදුව ඇති ආපදා හේතුවෙන් ඉදිරියේදී ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ.

මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් ඉදිරි කාර්තු දෙකේ ආර්ථික වර්ධන වේගය පහත වැටීමට වැඩි ඉඩකඩක් ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

කෙටි කාලීන උද්ධමන තත්ත්වයක් මෙන්ම ගෙවුම් ශේෂයට සෘණ බලපෑමක් ද ඉදිරියේදී ඇතිවිය හැකි බව මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පෙන්වා දෙනවා.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුව ඇති පාඩුව දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1යි දශම 5ත්, 2ත් අතර අගයක් ගනු ඇතැයි පුරෝකථනය කළ හැකි බවද මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.