දිට්වා සුළි කුණාටුව මේ වන විට යාපනය සිට කිලෝමීටර් 80ක් ඊසාන දෙසින් කේන්ද්‍රගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර, උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගිුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්‍ෂා කෙරෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බොහෝ ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා ඉතා තද සුළං සහ පැයට කිලෝ මීටර් 80ත් 90ත් දක්වා ප්‍රහාරාත්මක සුළංද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.

මේ, පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය.

හෙට දිනය වන විට පැවතිය හැකි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය කරුණු දැක්වුවා.