දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ දින 18කට පසු රථවාහන ධාවනයට. අද(15) උදෑසන 7:00 සිට එම මාර්ගය රථවාහන ගමනා ගමනය සඳහා විවෘත කර තිබෙනවා.

මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරිය නාවලපිටිය හා ඇත්ගාල පොලිස් ස්ථාන, පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව නාවලපිටිය නගර ඇතුළු පාර්ශව කිහිපයක සහභාගීත්වයෙන් සිදුකෙරුණා.

නයායෑම නිසා මාර්ගයට වැටි තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇති අතර මාර්ගයට ඉහලින් පස්කන්ද නායයාමේ අවදානමක් පවතින නිසා ඒ සඳහා ස්ථිර විසඳමක් ලබා දෙනතුරු ආරක්ෂිතව ගමනාගමනයට හැකිවන ආකාරයෙන් මාර්ගයේ නිර්මාණය කර ඇති බවත්, මෙම ස්ථානයේ කටයුතු අවසන් වන තුරු සුපරීක්ෂාකාරී ලෙස මාර්ගයෙ රිය ධාවනය කරවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ල සිටිනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය බිමල් රත්නායක යන මහතුන්ගේ උපදෙස් පරිදි මාර්ග පද්ධතිය කඩිනමින් යථා තත්වයට පත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාවේ උපරිම ශක්තිය යෙද වූ බව යුධ හමුදාවේ නිළධාරියෙකු පවසා සිටියා.

මාර්ගය විවෘත කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කරසිටියේ පස්භාගේ කෝරලය තුළ ආපදාවට ලක් වූ මාර්ග බොහෝමයක් මේ වනවිට අලුත් වැඩියා කර අවසන් කර ඇති බවත්, උලපනේ මහනුවර මාර්ගයේ සතියකින් පමණ වැඩ අවසන් කර ගමනාගමනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම මේ වන විට බිඳ වැටී තිබුණු ජල සැපයුම් යථා තත්වයට පත් කළ බවත්, වැඩිම හානියක් සිදුවූ පල්ලේගම ප්‍රදේශයේ විදුලි පද්ධතිය වෙනුවට අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් යොදා හෙට(16) වන විට විදුලිය සැපයීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් පැවසුවේ.

මෙම මාර්ගයේ බර වාහන ධාවනයට යම් සීමා පනවා ඇත.

එම මාර්ගය විවෘත කිරිමෙන් පසුව එම ස්ථානයේ හානි වී ඇති දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බව නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ නිළධාරියෙකු පැවසුවා.

මාර්ගය විවෘත කිරිමේ අවස්ථාව සඳහා 06 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කොඩිතුවක්කු, නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර, පස් බාගේ කෝරලේ සභාපති මංජුල කරුණාරත්න, ගඟ ඉහළ කෝරළයේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.