නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණයට තවදුරටත් විරෝධය පළ වනවා.

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 01 ශ්‍රේණියේ සහ 06 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශද ඉදිරියේදි නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

නව ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික අංශයේ 01, 02, 03 සහ 04 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වන කාලයේ කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.

05 වන ශ්‍රේණිය සඳහා පෙරවරු 07.30 සිට පස්වරු 02.00 දක්වා පාසල් පැවැත්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මකයි.

කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලයද පෙරවරු 07.30 සිට පස්වරු 02.00 දක්වා සිදු වනවා.

කෙසේවෙතත් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයද විරෝධය පළ කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරයාට ලිඛිතව දැන්වූ බවයි.

මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ සිසුන් මෙන්ම ගුරුවරුන්ද ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දෙන බව රජයේ ගුරුවරුන්ගේ සංගමයේ සභාපති නාලක ද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවා.