දිට්වා සුළි කුණාටුවෙන් බැට කෑ ශ්‍රී ලංකාව යළි නැගී සිටීම සඳහා වේගවත් ප්‍රවේශයක් ලබා ගෙන තිබෙනවා.

කැඩී බිඳී ගිය මහාමාර්ග මෙන්ම යළි පිළිසකර කිරීමට බොහෝ කල් ගත වනු ඇතැයි අපේක්‍ෂා කළ දුම්රිය මාර්ග ගණනාවක්ද දුම්රිය ගමන් කළ හැකි මට්ටමට මේ වන විටත් පත් කර තිබෙනවා.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙන්ම ත්‍රිවිධ හමුදාව ඇතුළු තවත් බොහෝ පාර්ශවයන්ගේ කැපකිරීම් මධ්‍යයේයි.

ඊයේ වන විට විනාශයට පත්ව තිබූ යත්තල්ගොඩ දුම්රිය පාලම ප්‍රතිසංස්කරණය කර රඹුක්කන, කුරුණෑගල සහ ගණේවත්ත සිට කොළඹ දක්වා දුම්රිය ධාවනයද ඊයේ දිනයේ සිට ආරම්භ කෙරුණා.

කොළඹ සිට හලාවත දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ මීළඟ සැලසුම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා  පවසා තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් විනාශ වූ තවත් දුම්රිය පාලම් ගණනාවක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු මේ වන විට ක්‍රියාත්මක වනවා.

දැඩි ලෙස හානියට පත්ව ඇති එම පාලම් ඉදි කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.