ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහා ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ දී ඊට පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නේ අදාල තීරණය අභියෝගයට ලක් කරමින් අයේෂානි ජයවර්ධන සහ සුරේෂ් විදුෂා යන කාන්තාවන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි. ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබුවා. ඒ අනුව අදාළ පෙත්සම යළිත් ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල නියම කළේ. පෙත්සම්කාරියන් කියා සිටින්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරුන් බදවා ගැනීම සඳහා ඉකුත්දා, නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් අදාළ තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවයි. මේ තුළින් සුදුසුකම්ලත් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයදුම් කිරීමට සහ තේරී පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කර තිබෙන බවත් ඔවුන් චෝදනා කළා. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් කාන්තාවන්ටද අයදුම් කළ හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකාර දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරියන් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.
Published