සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරඟය ජය හිමි කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින්. ඒ අනුව තරඟ 03කින් සමන්විත මෙම තරඟාවලිය තරග 1ට 1ක් ලෙස සම කිරීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 80ක් පමණයි. ආරම්භයේ සිටම සිම්බාබ්වේ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 38ක් තුළදී දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 20ක් ලබාගත් අතර නායක චරිත් අසලංක ලකුණු 18ක් ද, දසුන් ශානක ලකුණු 15ක් ද රැස් කළා. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාවවත් ඉක්මවා යාමට සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් සහ නායක සිකන්දර් රාසා අතර කඩුලු 03 බැගින් බෙදී ගියා. ඒ අනුව ලැබුණු ලකුණු 81ක පහසු ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 02ක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී තිබියදී එම ඉලක්කයක සපුරා ගැනීමට සමත් වුණා. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රයන් බෙනට් ලකුණු 19ක් ලබාගත් අතර, රයන් බර්ල් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූ අතර බිනුර ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. මෙම තරඟාවලියේ තුන්වැනි අවසන් විස්සයි විස්ස තරඟය අද පස්වරු 05ට ආරම්භ වීමට නියමිතයි.
Published