සැකපිට අත්අඩංගුවට ගෙන දෙසතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද නියෝග කළා.

එම නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටියේ අනුරධපුර මහාධිකරණය හමුවේ පැවති එච්සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න නමැත්තාට පසුගිය වෙසක් පොහොය දා ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර, විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න නමැත්තා ඔහුට එරෙහිව තිබු අදාළ නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ඉඩ සැලැස්වූ බව කියන සිද්ධියට අදාළවයි.

ඒ අනුව සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතාට රුපියල් ලක්ෂ 05ක් වටිනා ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එක් ඇපකරුවෙකු පවුලේ ලඟම ඥාතියෙකු විය යුතු බවටද නියෝග කළා.

පැමිණිල්ලේ සාක්සිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටද සැකකාර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුට විදේශ ගතවීම වළකාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කළා.

සැකකරුට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති නම් ඒ බව පැය 24ක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දෙන ලෙසටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේ.

ලබන අගෝස්තු මස 4 දින යළි අධිකරණය හමුවේ පෙනී සින ලෙසටද සැකකාර බන්ධනාගාර අධිකරිවරයාට තවදුරටත් නියෝග කෙරුණා.

සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා මෙලෙස දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළේ මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවල සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා ඇතුළු නීතිඥවවරුන් දැක්වූ කරුණු සහ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් වන ගාමිණි පෙරේරා සහ අරවින්ද හබක්කල සහ මංජුල තිරානේගම යන මහත්වරුන් දීර්ඝව දැක්වූ සියළු කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම නඩුව අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේ පැය දෙකකට අධික කාලයක් පැමිණිලි සහ විත්ති පාර්ශවයන් දී්ර්ඝව අධිකණයට කරුණු දක්වනු ලැබුවා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය දීර්ඝව කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදා හැරියහොත් විමර්ශනවලට බලපෑම් එල්ල විය හැකි බව පවසමින් ඔහුට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටියා.

සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයනේ ඉල්ලා සිටියේ ඕනෑම ඇප කොන්දේසියක් මත සිය සේවාදායකයා මුදා හරින ලෙසයි.

දෙපාර්ශවය දීර්ඝව කළ කරුණු දැක්වීම් සැළකල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග කළා.

අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුව මගින් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ කූඨ ලේඛණයක් සකස් කිරීම, සිරකරුවෙකුට පළා යාමට ආධාර අනුබල දීම සහ රජය අපකීර්තියට පත් කිරීම යන චෝදනා යටතේයි.