දේපළ සොරකමට සැකපිට රන් මාලයක් සහ පසුම්බියක් සමග සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඔහු සන්තකයේ තිබූ රන් මාලය සහ පසුම්බිය මොරටුව ප්‍රදේශයේදී සොරකම් කර ඇති බවටයි.

ඔහු පිළියන්දල, පෑලියගොඩ, මහබාගේ, නාරාහේන්පිට සහ වැලිකඩ යන ප්‍රදේශවල සිදුවූ සොරකම් සඳහා අවශ්‍යව සිටි සැකකරුවෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

සැකකරු විසින් සොරා ගත් තවත් කරාඹු ජෝඩුවක්, අත් පළඳනාවක්, මුදු දෙකක්, රන් මාලයක්, ග්‍රෑම් 33යි මිලි ග්‍රෑම් 30ක් බර රන් කැබලි 04ක්, අත් ඔරලෝසු 03ක් සහ රුපියල් 7,000ක් ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ක්‍රියාත්මකයි.