2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දෙමින්.

ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නඩුකරයේ වග උත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය වී නොමැති බවට දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මතු කළ මූලික විරෝධතා ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා අධිකරණයට ඉදිරිපත් කරන ලද වැදගත් ලේඛන ගණනාවක්, තීන්දුව ලබාදීමට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවට චෝදනා කළා.

යම්කිසි විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් උපදෙස් ඉල්ලා සිටි විටෙක ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා අදාල සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට කටයුතු කළේ ඊට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව බවත් ඇය සඳහන් කර සිටියා.

වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවයි.

සැකකරුවකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවයි ඔහු සඳහන් කළේ.

එසේ තිබියදී අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අදාල අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

අදාල සිද්ධියේ සැකකරුවකු ලෙස තමන්ව නම් කරන ලෙස නීතිපතිවරයා විසින් 2023 වසරේ අප්‍රේල් මස 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ ලිපිය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ එවක අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් අදාල ලිපිය බල රහිත කරමින් මෑතකදී තීන්දුවක් ලබාදී තිබුණා.

එම අභියාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් එම තීන්දුව බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම ඇපෑල ඉදිරිපත් කළා.

මේ අතර ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.