Published
2022 වසරේ ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වලකින ලෙසත් සැකකරුට තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම කැඳවීම් සිදු කරනු ලබන අවස්ථාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අධිකරණයට පැමිණ විමර්ශන කටයුතු වලට සහාය විය යුතු බවත් එසේ කැඳවනු ලබන අවස්ථාවල මගහැරීම් සිදු කරන්නේ නම් ඇප අවලංගු කර සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
ඉන් අනතුරුව මෙම පැමිණිල්ල සැප්තැම්බර් මස 03 වන දා කැඳවීමටද නියම වුණා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව මේ දක්වා අදාළ සිද්ධිය පිළිබඳව කනිෂ්ඨ පොලිස් නිලධාරින් 23 දෙනෙකුගෙන් හා සිවිල් පුරවැසියන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව පැවසුවා.
එම සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී භූමියේ විශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් රඳවා තිබූ බවත් පහරදීම සඳහා පැමිණි පිරිස් විසුරුවා හැරීමට ඔවුන් කිසිදු පියවරක් නොගත් බවට අදාළ ප්‍රකාශ වලින් කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
ඒ අවස්ථාවේදී භූමියේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙම සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා බව එම ප්‍රකාශ වලින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා ඔහු යුක්ති සහගත පියවරක් ගෙන නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කර සිටියා.
විශේෂයෙන්ම කැරළි මර්දනය කිරීම සඳහා යොදා ගන්නා ජල ප්‍රහාරක යාත්‍රා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරියකුගෙන් නියෝග ලැබීම අත්‍යවශ්‍ය බවට පොලිස් දෙපාර්තමේන්තුව තුළ පවතින චක්‍රලේඛවල සඳහන් කර ඇතැයි සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට කරුණු පෙන්වා දුන්නා.
එහෙත් මෙම සිද්ධියේදී ජල ප්‍රහාරක යාත්‍රා ක්‍රියාත්මක කරන ලද නිලධාරීන්ගෙන් ප්‍රකාශය ලබාගත් බවත් ඔවුන්ට අදාළ කලාකාරී පිරිස් විසුරුවා හරින ලෙස රාජ්‍ය නිවේදිත නිලධාරින් ගෙන් නියෝග නොලැබුණු බවට ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.
මෙම ගැටුම ඇතිවූ අවස්ථාවේදී රාජ්‍ය නිවේදිත නිලධාරියෙකුගෙන් තමන්ට නිසි නියෝග ලැබී තිබුණේ නම් ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවට ඔවුන් සිය ප්‍රකාශ වලින් සඳහන් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා.
ඊට අමතරව මෙම සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයින් හතර දෙනෙකු ද ප්‍රකාශ ලබාදී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔවුන් මෙලෙස ඉදිරියට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවයි සඳහන් කළේ.
මේ ආකාරයෙන් තවත් පුරවැසියන් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබාදීමට හැකියාව පවතින බැවින් මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා ප්‍රාණ ඇපකරුවකු ලෙස රිමාන්ඩ් භාරයේ තැබීමට නොහැකි බව පෙන්වා දුන්නා.
විමර්ශන කටයුතු සඳහා පුද්ගලයින් රිමාන්ඩ් භාරයට පත්කළ නොහැකි බවට අභියාචනාධිකරණ තීන්දුවකද සඳහන් කර ඇතැයි පෙන්වා දුන් නීතිඥ වරයා සිය සේවා දායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් සඳහන් කර සිටියා.
එමෙන්ම සිද්ධිය වූ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ ජගත් චන්ද්‍ර කුමාර සහ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී ඇති බවත් මෙම සිද්ධිය මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පමණක් තමන්ට උපදෙස් ලබා දුන් බව ඔවුන් විසින් ප්‍රකාශ කර ඇති බවත් නීතිඥවරයා කියා සිටියා.
ඒ අනුව සිය සේවා දායකයා ඇපමත මුදා හරින ලෙසත් නීතිඥ අජිත් පතිරණ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.




