ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, බත්තලන්ගුන්ඩුව දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබනවා.
ඒ අනුව කල්පිටිය, බත්තලන්ගුන්ඩුව දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් වයඹ නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට සහ බටහිර නාවික විධානයට අනුයුක්ත යාත්‍රා යොදවා සිදු කෙරිණා.
එහිදී, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් වෙත නිත්‍යානුකූලව ගොඩවී පරීක්‍ෂා කිරීම සඳහා, එම යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අනුකූලතාවය දැක්වූ අතර, දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් දස දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණා.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.
Published