ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්. ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයෝ ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි. එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබා දීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම මෙම වැඩමුළුවේ අරමුණයි. ඊට එක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ රාජ්‍ය සේවය ඩිජිටල් පරිවර්තනයකට සූදානම් විය යුතු බවයි. ඒ සඳහා දැනට පවතින රාජ්‍ය සේවය වෙනස් විය යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.