උත්සව සමය වෙනුවෙන් අද සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා සඳහන් කළේ දැනට ධාවනය වන බස් රථවලට අමතරව විශේෂ බස් රථ ධාවනයට එක් කර ඇති බවයි.
ඔහු සඳහන් කළේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇති ප්‍රදේශ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම විශේෂ බස්රථ යෙදවීමට පියවර ගත් බවයි.
මේ අතර, එළඹෙන නත්තල් උත්සවය සහ 2026 නව වසර උදාවීම ඇතුළු උත්සව සමය හේතුවෙන් ප්‍රධාන නගර වෙත පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව නත්තල් දින නිමිති කරගෙන දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් හා එයට අනුබද්ධිත වැඩසටහන් පැවැත්වෙන බැවින් සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි පොලීසිය නිවේදනය කළේ.
මීට අමතරව මූල්‍ය ආයතන, කඩසාප්පු ඇතුළු ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.
බුද්ධි නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් නගර ආශ්‍රිතව යොදවා බුද්ධි තොරතුරු ලබා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පියවර ගෙන ඇති බව ද පොලීසිය පවසනවා.
දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හෝටල්, කඩසාප්පු සංකීර්ණ හා සංචාරකයින් ගැවසෙන ස්ථානයන්හි ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එසේම සැකකටයුතු පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම්, රථවාහන හා තම දේපල පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, සැකකටයුතු තොරතුරක් වෙතොත් ලඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




