ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ, නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින්.

ඉන්දියාවේ ඉන්දෝර්හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 05කදී සියලු දෙනා දැවී ලකුණු 231ක් රැස් කළා.

නවසීලන්ත කණ්ඩායමේ නායිකා සොපී ඩිවයින් පන්දු 98කදී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 40යි පන්දු 05කදී කඩුලු 04 කට ලකුණු 234ක් රැස් කර ගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

ආරම්භක පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි ටැස්මින් බි්‍රට්ස් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් පන්දු 89කදී ලකුණු 101ක් රැස් කළා. සූනි ලවුස් පන්දු 114කදී නොදැවී ලකුණු 83ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් සමගින්.

මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී ලැබූ පළමු ජයග්‍රහණය වනවා.

මේ අතර මෙම තරඟාවලියේ තවත් තරඟයක් ගුවාතිහිදී අද පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහිදී තරඟ වදිනවා.