2025 ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බවයි ආසියනු ක්‍රිකට් කවුන්සලය නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ.

තරඟාවලිය සැප්තැම්බර් 09 වනදා සිට 28 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟාවලියට කණ්ඩායම් 08ක් සහභාගී වීම විශේෂත්වයක්.

පෙර පැවති තරඟාවලි සඳහා සහභාගී වුණේ කණ්ඩායම් 06ක් පමණයි.

ඒ අනුව, මෙවර ආසියානු කුසලාන තරඟාවලියට තරඟ වැදීම සඳහා නව කණ්ඩායම් දෙකක් නම් කර තිබෙනවා.

මෙම තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ අබුඩාබි, ඩුබායි යන ක්‍රීඩාංගණ දෙකෙහිදී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී කණ්ඩායම් 08ක් කාණ්ඩ 02ක් යටතේ තරඟවැදීමට සැලසුම් කර තිබෙන අතර, එහි A කාණ්ඩයට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය ඇතුළත්. B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං ඇතුළත් වනවා.

ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය ඇෆ්ගනිස්තානය හා හොංකොං රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතයි.

මේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය සැප්තැම්බර් 13 වනදා බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.