නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. නාගරික සහ ග්‍රාමීය නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති, නාගරික සංවර්ධන ව්‍යාපෘති, නගර සැලසුම් ව්‍යාපෘති, කසළ කළමනාකරණ සහ පරිසර ආරක්ෂණ ව්‍යාපෘති, ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘති ආදිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙම අංශවලට අදාළව දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය එහිදී විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. විශේෂයෙන්, පසුගිය ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමඟ නතර වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමේදී සහ ආරම්භ කළ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳ එහිදී අවධානය යොමු කර තිබෙනවා. මෙම වසරේදී ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙයවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා විසින් අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. රජය නිසි පරිදි අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර තිබියෙදී ඒවා නිශ්චිත කාලයක් තුළ නිසි පරිදි උපයෝජනය නොවන්නේ නම් එය ගැටලුවක් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා. නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම්වලදී මෙන්ම, නාගරික සැලසුම්කරණයේදීද අදාළ ප්‍රදේශයේ ජනතා අදහස් සහ වුවමනාවලට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා පසුගිය ආණ්ඩු තම හිතුමතේ සිදු කර ඇති ඉදිකිරීම් හේතුවෙන් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල භාවිතයට නොගන්නා සහ ඌණ-උපයෝජනයක් සහිත රජයේ ගොඩනැගිලි ඉදි වී ඇති බවත් එහිදී පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.