වර්තමානයේ විපක්ෂයේ මහජන නියෝජිතයින්ගේ ජීවිත අනාරක්‍ෂිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කෙසේවෙතත් මිනීමරු සංස්කෘතියට ඉඩදිය නොහැකි බවයි උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ද පැවසුවේ ආණ්ඩුවට විරුද්ධව මත දරණ විපක්ෂයේ මහජන නියෝජිතයන්ගේ ජීවිතවලට වර්තමානයේ විශාල තර්ජනයක් පවතින බවයි.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට එල්ල වී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් කටයුතු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලීමක් කරනවා.

නිශ්චිත තොරතුරු තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම පිළිබඳ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව එලෙස පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ආරක්‍ෂාව ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද අදහස් පළ කළා.

කෙසේවෙතත් විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පළ කළේ මෙවන් අදහසක්.