පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැදවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කලා. නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.