නාරම්මල - කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ලොරි රථයක් ලංගම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් ලොරි රථයේ ගමන් කළ රියදුරු, පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු තුවාල ලබා නාරම්මල හා කුරුණෑගල රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ලොරි රථයේ රියදුරු එහි ගමන් කළ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41, 80 හා 82 වයස්වල පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.

එම ලොරි රථයේම ගමන් කළ වයස අවුරුදු 40ක කාන්තාවක්, වයස අවුරුදු 16 හා වයස අවුරුදු 09ක දැරියන් දෙදෙනෙකු තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.

මෘත ශරීර නාරම්මල හා කුරුණෑගල රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාරම්මල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.