නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා.

ඒ, අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේයි.

ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 13ක් ද එම ස්ථානයට යොමු කිරීමටයි සිදු වුණේ. ඊට අමතරව ගිනිනිවන සේවා නිලධාරින් 40කට ආසන්න පිරිසක් ද එම ස්ථානයට යොමු කළ බව පොලිසිය සඳහන් කළා.

එම ස්ථානයේ සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලවල සිටින පිරිස් පහළට ගෙන ඒම සඳහා විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළ බවයි.

ඒ සඳහා “ස්කයිලිෆ්ට්” වාහන දෙකක් ද යොදා ගැනුණා. ඒ, ගින්න හටගැනීමත් සමග පිටවීමේ දොරටු සිරවීමත් සමගයි. ඒ අනුව “ස්කයිලිෆ්ට්” වාහන භාවිත කරමින් එහි සිරවී සිටි පිරිස් මුදාගැනීමේ කටයුතු ආරම්භ කළා.

ගිනි නිවීමේ හමුදාව මගින් විදේශිකයන් දෙදෙනෙකු මුදවාගෙන තිබුණා.

මෙම ගින්න හටගත්තේ නාරහෙන්පිට දාබරේ මාවතේ ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි මහල් 08 කින් සමන්විත සුපිරි නිවාස සංකීර්ණයකයි.

කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මේ වන විට පාලනය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට හැකි වී නැහැ.

නාරහෙන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.