යුරෝපා සංගමය සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළඳ සාකච්ඡා කඩිනම් කිරීමට ජර්මනියේ නිරන්තරයෙන් සහය ලබා දී ඇතැයි ඉන්දියාව පවසයි. ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මෙම අදහස් පළ කළේ ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෙෆුල් හමුවූ අවස්ථාවේදීයි. දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ජර්මානු විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා වටයකට ද එක්විය. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ ජර්මනිය සමඟ සිදුකරන ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීමට ඉන්දියාව සූදානම් බවයි. එහිදී යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳව ද දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කළ බව සඳහන්. යුරෝපීය සංගමය සමඟ අපගේ සබඳතාව ශක්තිමත් කිරීමට සහ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීමට ජර්මනියේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේය. එම හමුවෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දිනවලදී නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ තීරණාත්මක නිගමනයකට පැමිණීමට ඉන්දියාව කැමති බවයි. එහිදී ජර්මානු ඇමතිවරයා පැවසුවේ ඉදිරි මාසවලදී ගනුදෙනුව අවසන් කළ හැකි බවයි.