කුලී රථ ගමන් සේවා නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සේවා සහ විශේෂ චාරිකා යන ප්‍රවාහන සේවා එලෙස නියාමනය කිරීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසුවේ.

කුලී රථ ගමන් සේවා නියාමනයට අදාලව දත්ත එක්රැස් කිරීම නොවැම්බර් මස පළමු වනදා සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මැරැන්ඩා මහතා පැවසුවා.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව අතිරේක කොමසාරිස් ජනරාල් ලෙස කේ.පී.එන්. තාරක නිරෝෂන් දේවප්‍රිය මහතා පත්කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ නව තනතුරක් වන මෙම අතිරේක කොමසාරිස් ජනරාල් තනතුරට පත් වූ පළමු නිලධාරියා වන්නේ ද ඔහුයි.