පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව අතර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානයේ නිරන්තර ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

සමාජ හා සාමායික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයක වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම සලකා බැලීම සඳහා අද මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාල පෙත්සමේ වග උත්තරකරු ලෙස නම්කර තිබූ නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව ජාතික පොලිස් කොමිසම මගින් ආරම්භ කළ විනය පරීක්ෂණය තවමත් පැවැත්වෙන බව සඳහන් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවක සාක්ෂිකරුවකු වශයෙන් කටයුතු කරන අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරු කර තිබෙන බව කියා සිටියා.

මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයා වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව සිදුකරන විනය පරීක්ෂණ අවසන් වීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය කිරීම සුදුසු බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ගොනුකර සැලකිය යුතු කාලයක් ගතවී තිබෙන අතර මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරු මායාදුන්නේ කොරයා මහතා පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරිය අමතමින් නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂණ අවසන් වීමෙන් පසු පෙත්සම කරුණු තහවුරු කිරීම සුදුසු නොවේදයි විමසා සිටියා.

එවිට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය සඳහන් කළේ වග උත්තර කාර්ය නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අපරාධමය නීති ක්‍රියාමර්ගයක් ගෙන නොමැති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මස 14 වන දා කැඳවන ලෙස නියම කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව එම ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව පෙත්සම්කරවන් පවසනවා.

ඒත් එම නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක කර නොමැතිව බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.