ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතිඥවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අතර ඇති වූ සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවීමට නියමිතයි. එම අධිකරණ පරිශ්‍රයෙන් නීතිඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් අදාළ පොලිස් නිලධාරියා විසින් නීතිඥවරයාට පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පැවසුවේ.

එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ගල්කිස්ස අධිකරණයට පසුගියදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පොලිස් නිලධාරියා වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක් මතු වුණා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා එම සිද්ධියට අදාළව මෙතෙක් අධිකරණය හමුවේ වරදකරු වී නොමැති බැවින් ඔහු වෙනුවෙන් අද දිනයේ හෝ නීතිඥවරයෙකුට පෙනී සිටින ලෙසට ද විවිධ පාර්ශව සමාජ මාධ්‍ය හරහා ඉල්ලීම් කර තිබුණා.

එලෙස ඉදිරිපත් වන නීතිඥවරයාට අදාළ ගාස්තු ගෙවීමටද සූදානම් බවයි විවිධ පාර්ශව ප්‍රකාශ කර තිබුණේ.

එවන් පසුබිමක් තුළ එම පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු ගල්කිස්ස අධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින බව පොලිස්පති, නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයාගේ නියමයෙන්.

ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශනය සිදු කරන බවයි පොලීසිය පැවසුවේ.

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ පසුගිය 10 වන දින සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පූර්ණ විමර්ශනයට අදාළව සීසීටීවී දර්ශන ලබා ගැනීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය ඊයේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අවසර ලබා දී තිබුණා.

ඒ, ගල්කිස්ස මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කල නවතම නිවේදනය පහතින්