මහරගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු පොලිසිය ප්‍රකාශ ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බව කියා විමර්ශන නිලධාරීන් සහ අනෙක් පාර්ශවය නොමග යැවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මහේස්ත්‍රාත් සංජීව මෙන්ඩිස් විජේතුංග මහතා නියෝග කළා.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මහරගම පොලිස් වසමේ වත්තේ ගෙදර ප්‍රදේශයේදී සැකකරු පදවන ලද මෝටර් රථය සහ හෝකන්දර තුරුගිරිය පාර ප්‍රදේශයේ පුද්ගලයකු පදවන ලද මෝටර් රථයේ එකිනෙක ගැටී අනතුරකට ලක්ව ඇතැයි පොලිසිය කියයි

එම පාර්ශව දෙක පොලිස් ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව රථවාන අංශයේ පොලිස් සැරයන්වරයකු සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගැනීමේදී තමන් නීතිඥවරයෙකු බවත් රස්තියාදු වීමට වෙලාවක් නොමැති කඩිනම් කරන ලෙසත් පොලිස් නිලධාරියාට පවසා තිබෙනවා.

ඔහුගේ එම වචන සම්බන්ධයෙන් සහ ඔහු එම අවස්ථාවේ හැසුරුණු ආකාරයේ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරු නීතිඥවරයකු නොවන බවට අනාවරණය වූ බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවැසුවා.

තමා නීතිඥයෙක් බව විමර්ශන නිලධාරීන්ට හා අනෙක් පාර්ශවයට පවසා පොලිස් නිලධාරීන් හා අනෙක් පාර්ශවය නොමග යවමින් අනෙක නීතිඥවරයකු ලෙස පෙනී සිටීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මේ සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් වැඩි දුර පරීක්‍ෂණ පවත්වනු ලබනවා.