2023 වසරේ ජාතික ආහාර ප්‍රරවර්ධන මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් අයුතු ලෙස උපයෝගී කරගනිමින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කර රජයට රුපියල් කෝටි 12 කට අධික පාඩුවක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අබ්දුල් කාදර් මොහොමඩ් හස්නා නමැති සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරය ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ යම් නිලධාරියකු මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ බවට කරුණු ඉදිරිපත් වන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් පොලිසියට නියම කළා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ බඩ ඉරිඟූ මෙට්‍රික් ටොන් 25,000 ක් ආනයනය කිරීම සඳහා රජය මගින් පුද්ගලික සමාගම්වලට අවසර ලබාදී ඇති බවත් ඒ අනුව මෙම සැකකරුට අයත් සමාගම විසින් පාකිස්තානයේ ටී.ආර්.සී ග්ලොබල් නමැති සමාගමෙන් බඩ ඉරිඟු ආනයනය කර ඇති බවත් සඳහන් කළා.

මෙලෙස ආනනය කරනු ලබන බඩ ඉරිඟු කිලෝවක් සඳහා සැකකරුට අයත් සමාගම විසින් රුපියල් තුනක මුදලක් රජයට ගෙවිය යුතු වුවද ඔහු විසින් ගෙන්වන ලද බඩ ඉරිඟු මෙට්‍රික් 13,500 ක් වෙනුවෙන් රුපියල් 121,864,655 ක මුදලක් ගෙවීම පැහැර හැරීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.

ඊට අමතර ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩල නිලධාරීන්ගෙන් සටහන් කරගත් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියම කළා.