නේපාලය යනු මෙරට බෞද්ධ සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුණ භූමියක්. නිරන්තරයෙන් මෙරෙට සැදැහැවතුන් නේපාලයේ සංචාරයේ නිරත වන්නේ බෞද්ධ සිද්ධස්තාන වැඳපුදා ගැනීමේ අරමුණින්. එහෙත් නේපාලය අද ගිනි අරන්. ඒ වන විටත් ගොඩබිම් මාර්ගයේ ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනෙකු එහි සිටි බවටයි වාර්තා වන්නේ. දැන් ඔවුන්ගේ තත්ත්වය කෙසේද? එමෙන්ම ගිනිගත් නේපාලයේ නවතම තොරතුරු ද ඇතුළත්ව නෙත් නිවුස් සැකසූ විශේෂාංගයක් දැන්. නේපාලයේ හදිසියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ කිසිවක් නොදත් ශ්‍රී ලාංකික සැදැහැවතුන් පිරිසක් ඊයේ වන විටත් නේපාලයේ රැඳී සිටියා. මෙලෙස ශ්‍රී ලාංකිකයින් බහුතරයක් නේපාලයට ගොස් තිබුණේ ලුම්බිණිය වැඳපුදා ගැනීමේ අරමුණින්. දැන් ලුම්බිණිය ආශ්රිත ප්‍රදේශයේ තත්ත්වය කෙබඳුද? මේ, නේපාලයේ මහාබෝධි සමාගමේ වැඩසිටින පූජ්‍ය නාරද හිමියන්.
ලුම්බිණියේ සිටින ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිත ද? වර්තමානයේ නේපාලයේ තත්ත්වය කෙසේදැයි අප උන්වහන්සේගෙන් විමසා සිටියා. අද සිට දින තුනක් යන තුරු ලුම්බිණියට පැමිණීමෙන් වැළකී සිටින ලෙස දන්වා සිටි බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ. උද්ගතව ඇති තත්ත්වය මත නේපාලයේ රැඳී සිටින සියයකට අධික ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබේද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතාගෙන් විමසා සිටියා. දශක ගණනාවකට පසු නේපාලයේ හටගෙන ඇති විරෝධතා ඊයේ වන විට දරුණුතම තත්ත්වයකට වර්ධනය වී තිබුණා. එය තීව්ර කරමින් ඊයේ රාත්‍රිය වන විට වාර්තා වුණේ කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තුවට ද විරෝධතාකරුවන් ගිනි තබා ඇති බවයි. රජයේ ගොඩනැගිලි සහ දේශපාලන නායකයින්ගේ නිවාසවලට ඔවුන් පහරදී තිබෙනවා. එරට දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමටයි කටයුතු කර තිබුණේ. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි ද ඊයේ පස්වරුවේ සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා. එහෙත් විරෝධතා තවමත් අවසන් වූයේ නැහැ. පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විරෝධතා මධ්‍යයේ, බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ නේපාලයේ බටහිර දිස්ත්‍රික්කවල බන්ධනාගාර දෙකකින් රැඳවියන් 900ක් පැන යාමට සමත් වූ බවයි. නේපාලයේ මෙලෙස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාල 26ක් තහනම් කිරීමත් සමඟයි. ඉකුත් සඳුදා වන විට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ තීරණය ඉවත් කළද පැවති විරෝධතා වර්ධනය වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. Published