පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
නීතිඥ විජිත කුමාර මහතා විසින් එම පෙත්සම ගොනුකර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුලු පිරිසක් නම් කර තිබුණා.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවනු ලැබුවා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සමකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ බවයි.
අදාල විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින් එම ක්‍රියාව තුළින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින්ම අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කළා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර තිබෙන බව සදහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 02කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත් ඔවුන් එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවයි.
ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාල විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.
සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදු කරන බව පෙත්සම්කරු පෙන්වා දුන්නා. එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අය කර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් ඔහු සඳහන් කළා.
ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.




