පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි අයෙකු විසින් සිදු කළ බව කියන රුපියල් අට ලක්ෂ හයදහස් පන්සීයක මුදල් කොල්ලයක් පිළිබද ලැබී ඇති පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නොරොච්චෝලේ පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ නාරක්කල්ලිය, කොයියාචේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදුකර ඇති පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.

තමන් ඉකුත් 04 වැනිදා අළුයම දුම්කොළ තොගයක් රැගෙන ලොරි රථයකින් කුරුණෑගල සහ වව්නියාව ප්‍රදේශයට ගිය බව පැමිණිලිකරු පොලීසියට පවසා තිබෙනවා.

ව්‍යාපාරික කටයුතු අවසන් වී එදිනම ආපසු නිවස බලා පැමිණෙමින් සිටින විට පාලාවිය - කල්පිටිය මාර්ගයේ කරඹ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි අයෙකු ලොරි රථය නවත්වා තමාව සහ රියදුරුව බිය ගන්නා කොල්ලය සිදුකර පලා ගිය බවයි සැකකරු පොලීසියට පවසා ඇත්තේ.

කොල්ලය සිදුවී ඇත්තේ 04 වනදා රාත්‍රී 07.30 ට පමණයි.

එහෙත් ඔහු පැමිණිල්ල සිදුකර ඇත්තේ 05 වනදා රාත්‍රී 09.30ට බවයි පොලීසිය පැවසුවේ.

පැමිණිල්ල කිරීමට කල්ගත වූයේ මන්දැයි පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී පැමිණිළිකරු පවසා ඇත්තේ 05 වැනිදා දවස පුරාම තමන් නිවසේ විවේකයෙන් පසුවූ බවයි.

කොල්ලය සිදුවූ ස්ථානයට මීටර් කිහිපයක් දුරින් පොලිස් මාර්ග බාධකයක් පවත්වාගෙන යන බැවින් පැමිණිලිකරු එම ස්ථානයේ සේවය කරන නිලධාරීන්ට හෝ මේ බව දන්වා නොමැති බවයි පොලීසිය පවසන්නේ.

ඒ අනුව මෙම පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවද පොලීසිය සදහන් කර තිබෙනවා.