පකිස්තාන හමුදාවේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

ඒ අනුව ඉන්දීය රජය පවසන්නේ වසිරිස්තානයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව වගකිව යුතු යැයි පකිස්තාන හමුදාව විසින් එල්ල කරන චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ වසිරිස්තානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට දොස් පැවරීමට පකිස්තාන හමුදාව විසින් සිදු කළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවයි.

ඉකුත් සෙනසුරාදා එල්ල වූ එම ප්‍රහාරයෙන් පකිස්ථන හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මිය ගොස් තිබිණි.

ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාර ගෙන තිබිණි.

“මරාගෙන මැරෙන ප්‍රහාරකයෙක් හමුදා රථ පෙළකට පුපුරණ ද්‍රව්‍ය රැගෙන පැමිණි වාහනයක් ගැටීමට සලස්වා තිබේ. පිපිරීමෙන් සොල්දාදුවන් 13 දෙනෙකු මිය ගිය අතර, සෙබළුන් 10 දෙනෙකු සහ සිවිල් වැසියන් 19 දෙනෙකු තුවාල ලබා ඇත,” පකිස්තාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

පිපිරීම සිදුවූ පකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ පොලිස් නිලධාරියෙකු පවසා තිබුණේ, පිපිරීමෙන් නිවාස දෙකක වහලයට ද හානි වූ අතර, එය කඩා වැටී ළමයින් හය දෙනෙකුට තුවාල සිදු වූ බවයි.