පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් මෙම වසරේ මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 819 ක් ලෙස ප්‍රකාශ කළද, කරච්චියේ ප්‍රධාන රෝහල් තුනක් සහ රාජ්‍ය අංශයේ රසායනාගාරයක් සහ හයිද්‍රාබාද්හි එහි ශාඛා මගින් ලබාගත් සංඛ්‍යාලේඛන මගින් වසංගතයක් වැනි තත්වයක් පෙන්නුම් කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව සති හයක් වැනි කෙටි කාලයක් තුළ එම පළාතෙන් වාර්තා වන රෝගීන්ගේ සත්‍ය සංඛ්‍යාව 12,000 ඉක්මවන බව ද පැවසේ.
රජය ජූලි මාසයේදී ඩෙංගු ආශ්‍රිත මරණයක් තහවුරු කර තිබුණද, ස්වාධීන සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ හයිද්‍රාබාද්හි ඩෙංගු රෝගීන් හතර දෙනෙකුට සහ කරච්චි නුවරින් හඳුනා ගැණුනු රෝගීන් දෙදෙනෙකු ජීවිත අහිමි වී ඇති බව අනාවරණ වී තිබේ.
විශාල දත්ත විෂමතාවය පිළිබඳව රජය නිහඬව සිටි බැවින්, පාකිස්තාන වෛද්‍ය සංගමයේ (PMA) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නිලධාරීන්ගේ සංඛ්‍යාලේඛනවල විශ්වසනීයත්වය පිළිබඳව සැක පහළ කළ අතර, ඔවුන්ගේ සංඛ්‍යාලේඛන බිම් මට්ටමේ යථාර්ථය නියෝජනය නොකරන බව පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මෙම වසරේ කරච්චි කොට්ඨාශයේ සහ හයිද්‍රාබාද් දිස්ත්‍රික්කයේ තහවුරු කරන ලද මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පිළිවෙලින් 579 ක් සහ 119 කි.
කෙසේ වෙතත්, කරච්චි හි රෝහල් තුනකින් ලබාගන්නා ලද සංඛ්‍යාලේඛනවලින් පෙනී ගියේ සැප්තැම්බර් 1 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 2,972 ක් වාර්තා වී ඇති බවයි.
සිව්වන රෝහල වන ජින්නා පශ්චාත් උපාධි වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පමණක් ජූලි සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 1,062 ක් වාර්තා වී ඇත.
අගා ඛාන් විශ්ව විද්‍යාල රෝහලේ (AKUH) තත්ත්වය වෙනස් නොවේ, මන්ද මූලාශ්‍ර මගින් පසුගිය වසරට වඩා සාපේක්ෂව විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ කිහිපයක් තහවුරු කර ඇති බැවිනි.




