පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර අධික වර්ෂාවත් සමග නායයාම් හේතුවෙන් ඉන්දියාවේ ජම්මු හා කාශ්මීරයේ කතුවා නම් දිස්ත්‍රික්කයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සම්පූර්ණ ගම්මාන 10 සිට 12 දක්වා අර්ධ වශයෙන් වැළලී ගොස් ඇති අතර වයඹදිග පකිස්ථානයේ එක් දිස්ත්‍රික්කයක පුද්ගලයින් 200කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා. එරට කාලගුණ බලධාරීන් නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ප්‍රදේශවලට ඉදිරියටත් අධික වර්ෂාපතනයක් ඇදහැලෙනු ඇති බවයි. ඒ හේතුවෙන් ගංගා, ඇළදොළ සහ අනෙකුත් ජල මූලාශ්‍ර ආශ්‍රිතව ගැවසීමෙන් වළකින ලෙසත් කඳුකර, නායයෑම් සහ අනෙකුත් අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසයි. සුන්බුන් යට තවමත් සිරවී සිටින පුද්ගලයින් සොයා බලධාරීන් දිගටම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. පකිස්ථානයේ සහන කණ්ඩායම් මේ වන විට ගංවතුරෙන් කොටු වී සිටි පුද්ගලයින් 2,000කට වැඩි පිරිසක් දිවි ගලවාගෙන තිබෙනවා. මේ අතර එරට රජයේ කාලගුණික වාර්තා පෙන්වා දී ඇත්තේ එළඹෙන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බවයි. ඒ අනුව පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමටද පියවර රජය පියවර ගෙන තිබෙනවා. ඉදිරි දින පහ හෝ හය තුළ එම ප්‍රදේශයට ගමන් කිරීමෙන් වළකින ලෙසද ඔවුන් සංචාරකයින්ට උපදෙස් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය 14 වැනි දින ජම්බු හා කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා.