2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, 2016 අංක 4 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළා. මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා වූ දෙවනවර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත් වුණේ ඊයේ දිනයේදීයි. එහිදී මෙම පනත් කෙටුම්පත් ත්‍රිත්වයම පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ඒ අනුව අදාළ පනත් තුන අද සිට බලාත්මක වනවා.

2025 අංක 09 දරන සේවකයනගේ අයවැය සහන දීමනා සංශෝධන පනත මගින් සේවකයන්ගේ අයවැය සහන දීමනාව 2025 මාර්තු 31 දින සිට ගෙවීම නැවැත්වීම 2025 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ඇති.

එමෙන්ම 2025 අංක 10 දරන, සේවකයන්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත මගින් 2025 මාර්තු මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි අයවැය සහන දීමනාව ගෙවීම නැවැත්වීම, 2025 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලබන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.