ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කරන තුරු නිරායුධ කිරීමට එකඟ නොවන බව හමාස් සංවිධානය නැවත තහවුරු කර තිබෙනවා. ඒ, හමාස් සංවිධානය තම අවි බිම තැබීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට අමෙරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. සටන් විරාමයක් තහවුරු කර ගැනීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වක්‍ර සාකච්ඡා ආරම්භ වී තිබුණා. සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡාවලදී ඊශ්‍රායලයේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස හමාස් සංවිධානය නිරායුධ කිරීම යන කොන්දේසි ඉදිරිපත් කර තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායලය සටන් විරාමයකට සහ සෙසු කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් සැප්තැම්බර් මාසයේ දී ප්‍රංශය සහ කැනඩාව ඇතුළු බටහිර රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබුණා. එම නිවේදනයෙන් පසුව, පසුගිය දින කිහිපය තුළ අරාබි ආණ්ඩු හමාස් සංවිධානයෙන් නිරායුධ කර ගාසා තීරයේ පාලනය යටත් කරන ලෙස ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධයෙන්ද හමාස් සංවිධානය පවසා ඇත්තේ ජෙරුසලම අගනුවර ලෙස ස්වාධීන, පූර්ණ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කරන තුරු ප්‍රතිරෝධය දැක්වීමට සහ එහි ආයුධ සඳහා ඇති අයිතිය අත්හැරිය නොහැකි බවයි. කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ ලුතිනන් ජෙනරාල් ඊයල් සමීර් පවසා ඇත්තේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වුවහොත් ගාසා තීරයේ සටන්වලට කිසිදු විවේකයක් නොලැබෙන බවයි.
Published