බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අද පස්වරුවේ එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීම නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව එම නිවේදනය සමඟ එක්සත් රාජධානිය පලස්තීනය රාජ්‍යයක් නිල වශයෙන් පිළිගත් පළමු G7 ජාතිය බවට පත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායක ශ්‍රීමත් එඩ් ඩේවි පවසා ඇත්තේ පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමේ රජයේ සැලැස්ම තම පක්ෂය පිළිගන්නා බවත් සියලු සටන් නවතා, පලස්තීනුවන්ට ආහාර ලබා දී, ද්වි-රාජ්‍ය විසඳුමක් කරා ගමන් කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට අපේක්ෂා කරන බවයි. මෙම තීරණය ගාසා තීරයේ භූමියට එතරම් බලපෑමක් ඇති නොකරන නමුත්, එම පියවර ගැනීමට සුදුසුම කාලය මෙය බව බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් අවධාරණය කර ඇති බවද ඔහු පවසා සිටියා. බ්‍රිතාන්‍යයේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේනමුත් බෙන්ජමින් නෙතන්යාහු විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා රටවල් පිළිබඳව මීට පෙර විරෝධය දක්වා තිබුනා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය මස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වෙත ලිපියක් යොමු කරමින් චෝදනා කර සිටියේ මෙම යුදෙව් විරෝධී ගින්නට ඉන්ධන වත් කරන බවයි. තවද මෙමගින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කිරීම දැඩි කරන බවත් ඔහු චෝදනා කර තිබෙනවා.
Published