විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් කල අදහස් දැක්වීම පහතින් සදහන් වේ.

අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ හා සැලසුම අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බැවින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සැලසුමක් දියත් කරන්නට කටයුතු කළ යුතු බවත් මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙහි දී Patient Monitor 5ක් සහ Syringe Pump 2ක් ලබා දීම සිදු විය.

මේ මොහොත වන විට මේ ආපදාවෙන් පසුව විපතට පත් ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවනෝපාය කඩා වැටී ජීවිත විනාශ වී උන්හිටිතැන් අහිමි වී සමස්ත ජන ජිවිතයම විනාශ වී ඇති බවත් කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා බරපතල ව්‍යසනයකට පත්වී ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ තුළ වෙනසක් සිදුවිය යුතු බවත් අයහපත් කාලගුණ තත්ත්ව නිවැරදිව වාර්තාකරණය කරන තැන සිට කාර්යක්ෂම පෙර සූදානමක් සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් උපකරණ නවීන තාක්ෂණයේ උපකරණ අප රටට තවමත් නොමැති බවත් සුනාමිය නිසා දසදහස් ගණනින් ජිවිත අහිමි වී ඇති මොහොතක මේ විනාශය ගැනත් පෙර දැනුම් දීම් සති 2ක් පුරා සිදුවන විටත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ඊට වගකිවයුත්තන් බලා ගෙන සිටිම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය වී ජීවත් වීමේ අයිතිය අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එබැවින් මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන අඩුපාඩු වැරදි හදාගෙන ඉදිරියට නොගිය හොත් අද වර්තමානයේ දිනෙන් දින වර්ධනය වන ස්වාභාවික පරිහානියන් පරිසර පද්ධතියේ හානියන් කාලගුණික දේශගුණික විපර්යාස තුළ මුහුණ දෙන ඇති අභියෝගවලට මුහුණ දිය නොහැකිව තවත් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවන අවදානමක් ඇති නිසා යල්පැනගිය යුගයට ඔබින්නේ නැති කතා සාප්පුවකට පමණක් සීමා වී ඇති ආපදා යාන්ත්‍රණය වෙනස් කර ව්‍යවසන කළමනාකරණ පනත ද වෙනස් විය යුතු බවත් මේ ස්වාභාවික අභියෝගවලට මුහුණ දිය හැකි නව පනත් හා ආයතන පද්ධතියක් ස්ථාපිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාවැකි කීම, පෙර සූදානම, කාලගුණ දේශගුණ තත්ත්ව ගැන ජනතාව සන්නිවේදනය ගැන පැහැදිලි වෙනසක් ඇති කළ යුතු බවත් මේ ක්‍රමය ගැන රටේ ජනතාවගේ විශ්වාසය නැතිව ඇති නිසා ජනතාවට ලබා දිය යුතු සහන කඩිනමින් ලබා දිය යුතු බවත් සහන ලබා නොදෙන්න හේතු දක්වනවා වෙනුවට කඩිනමින් විපතට පත් ජනතාවට සහන දිය යුතු බවත් ව්‍යාපාර ක්ෂේත්‍රය, කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අද විනාශ වී ඇති බවත් ඉල්ලුම් හා සැපයුම් දාම කැඩී ගොස් ඇති මොහොතක කඩිනම් විසදුම් හා සහන අවශ්‍ය බවත් මේ අවස්ථාවේ කඩිනමින් වැඩ කිරිම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම විපක්ෂය ද මේ අවස්ථාවේ ප්‍රේක්ෂකයන් නොවී ජනතාව වෙනුවෙන් සේවය කරන බවත් සෞඛ්‍ය පද්ධතිය රෝහල් පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවත් ආපදාවලින් පසුව ඇතිවන සෞඛ්‍ය ගැටලු නිරාකරණය කිරිමට නම් රෝහල් පද්ධතිය ශක්තිමත් විය යුතු නිසා මේ අවස්ථාවේ රෝහල් පද්ධතිය ශක්තිමත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් ඇති නිසාත් මේ අවස්ථාවේ හොදම දේ වන්නේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරිම නිසාත් සමගි ජන බලවේගය විසින් ඒ වගකීම කරට ගෙන හුස්ම වැඩසටහන යටතේ විපතට පත් ප්‍රදේශවල රෝහල් පද්ධතිය ගොඩනගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.