ලොව ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් යොමුව තිබූ ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පකිස්ථානය සමග පැවති තරඟයෙන් පහසු ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, කඩුලු 07කින්.
කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 127ක් රැස් කළා.
පකිස්ථාන කණ්ඩායමේ මුල් කඩුලු 07 ලකුණු 83කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
ඒ අනුව පකිස්ථාන ලකුණු පුවරුවේ එක් ලකුණක් සටහන්ව තිබියදී සයීම් ආයුබ් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.
මොහොමඩ් හරිස් දෙවනි කඩුල්ල ලෙස දැවී ගියේ ඔහු ලකුණු 03ක් රැස් කරගෙන සිටියදීයි. ෆකාර් සමාන් ලකුණු 17කටත් සල්මාන් අලි අගා ලකුණු 03කටත් දැවී ගියා.
පකිස්ථාන කණ්ඩායමේ පස් වන කඩුල්ල ලෙස ලකුණු පුවරුව 64ක්ව සටහන්ව තිබියදී හසන් නවාස් දැවී ගියේ ඔහු ලකුණු 05ක් රැස් කර සිටියදීයි. මොහොමඩ් නවාස් කිසිදු ලකුණක් නොලබා 06 වන කඩුල්ල ලෙස දැවී ගිය අතර ලකුණු 40ක් රැස් කර සිටි සහිබ්සාඩා ෆර්හාන් පකිස්ථානයේ 07 වන කඩුල්ල ලෙස දැවී ගියා.
සහීන් ෂා අෆ්රිඩි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්.
පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් කඩුලු 03ක් බිඳහෙළුවා. ජස්ප්‍රිට් බුම්රා සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.
එමෙන්ම හර්දික් පාණ්ඩෙයා සහ වරුන් චක්‍රවර්තී අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ජයග්‍රාහී ලකුණු 128ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 131ක් රැස් කර ගනිමින් තරඟය ජය ගත්තා.
නායක සූර්යකුමාර් යාදෙව් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 47ක්.
පන්දු 37කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.
අභිෂේක් ෂර්මා පන්දු 13කදී ලකුණු 31ක් රැස් කළා.
ඒ, හයේ පහර දෙකක් සහ හතරේ පහර 04ක් සමගින්. තිලක් වර්මා ලකුණු 31යි.
කෙසේවෙතත් ෂුබ්මන් ගිල් ලකුණු 10ක් රැස් කර සිටියදී දැවී ගියා.
පකිස්ථාන කණ්ඩායමේ සයිම් ආයුබ් ප්‍රතිවාදී කඩුලු 03 දවා ගත්තා.
ප්‍රතිවාදී කඩුලු 03ක් බිඳහෙළු ඉන්දීය කණ්ඩායමේ කුල්දීප් යාදෙව් තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා.




