සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, තරගය කඩුලු 07කින් ජය ගනිමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය පළමු පන්දුවාර 05 තුළ වේගවත් ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 46ක් රැස් කරමින්.
එහෙත් පසුව පන්දුව අතට ගත් දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කළා.
දසුන් සිය පන්දු වාර 04 ලකුණු 22කටත් වැන්ඩසේ සිය පන්දු වාර 04 ලකුණු 25කටත් අවසන් කළේ එක් කඩුල්ල බැගින් දවාගනිමින්.
මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 02ක් බිඳහෙලුවා.
පන්දු වාර 20 අවසානයේ බංග්ලාදේෂ ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 05කට ලකුණු 154ක් ලෙසයි.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හයේ, හතර පහර වරුසාවකින් ශ්‍රී ලංකා ඉනිම හැඩ කළේ පල්ලේකැලේ ක්‍රීඩාංගනයට රැස් වූ අති විශාල ප්‍රෙක්ෂකයින් පිරිස අමන්දානන්දයට පත් කරමින්.
පන්දුවාර 04යි පන්දු 04ක් අවසානයේ පැතුම් නිස්සංක දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 78ක් ලෙසයි.
පැතුම් නිස්සංක පන්දු 16කදී ලකුණු 42ක් රැස් කළේ හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් සමගින්.
කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුළ ලකුණු 73ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට ද හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්තාවක් ද බිහි කළා.
ඒ, පන්දු වාර විස්සයි විස්ස තරගයක “පවර් ප්ලේ” අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්.
ඊයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම “පවර් ප්ලේ” අවස්ථාවේ ලකුණු 83ක් රැස් කළා.
මීට පෙර වාර්තා වූයේ 2018 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 75ක් රැස් කිරීමයි.
දක්ෂ පිති හරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන පන්දු වාර විස්සයි විස්ස තරගය ලබන ඉරිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.