දුෂ්මන්ත චමීරගේ දක්ෂ පන්දු යැවීම සහ පැතුම් නිස්සංකගේ සහ කමිඳු මෙන්ඩිස් පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරඟය කඩුලු 04කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. හරාරේ හීදී පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 175ක් රැස් කළා. බ්‍රයන් බෙනට් පන්දු 57කදී ලකුණු 81යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 30කට කඩුලු 03ක් දවා ගත්තා. ලකුණු 176ක ඉලක්කයක් හඹා ගලිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී කඩුලු 06කට ලකුණු 177ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළා. ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් පැකුම් නිස්සංක පන්දු 32කදී ලකුණු 55ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 38යි. කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ පිතිකරුවන් තුන්දෙනෙකු අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයාම හේතුවෙන් තරඟයේ වැඩි වාසි යළි සිම්බාබ්වේ කණ්ඩායම දෙසට දෝලනය වෙමින් පැවතුනා. එම අවස්ථාවේ පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් පන්දු 16කදී ලකුණු 41ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. කමිඳුගේ ඉනිමට හයේ පහර 04ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය හිමි වුණේ කමිඳු මෙන්ඩිස්ටයි. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් දුෂ්මන්ත චමීර මෙලෙස අදහස් පළ කළා.

අවසන් තරඟ කිහිපයේදී නැවත වරක් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට හැකි වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට දුෂ්මන්ත චමීර පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.