2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම අද සිට ආරම්භ වනවා.

ඒ අනුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ. බහුතර බලය හිමි නොවූ සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා ප්‍රධානීන් තෝරා ගැනීමේ බලය පළාත් පාලන කොමසාරිස්වරුන්ට පවරා ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

සියයට 50කට වැඩි බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන 178ක බලය පිහිටුවීමේදී ජනතාව ගැන සිතා සියලු දේශපාලන පක්ෂ කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

ජාතික ජන බලවේගය බහුතර බලය හිමිකරගත් පළාත් පාලන ආයතන 151කට අදාළ නගරාධිපතිරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් අද දිනයේ වැඩකටයුතු ආරම්භ කරන බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ.

ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අදහස් පළ කළා.

මේ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට බහුතර බලය පිහිටුවීමේ හැකියාවක් පවතින පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත් කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.