ඉරානය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් මගින් නිවේදනය කර ඇත්තේ සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බවයි.

අමෙරිකානු ආක්‍රමණයට සහ සිය දේශය ආරක්‍ෂා කිරීමේ සිය ජනතාවගේ ආදර්ශමත් ස්ථිරභාවය සහ එකමුතුකම මෙන්ම සාර්ථක මිසයිල මෙහෙයුම් සතුරා මත සටන් විරාමයක් පනවා ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය මගින් විකාශය කර තිබෙනවා.

එම සටන් විරාමය කුමන කාල පරාසයක් තුළ ක්‍රියාත්මකදැයි නිශ්චිතව ප්‍රකාශ වී නැහැ. කටාර්හි පිහිටි අමෙරිකානු අල් උදෙයිද් කඳවුරට එල්ලකළ ප්‍රහාරවලින් කෙටි වේලාවකට පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සමග සටන් විරාමයකට ආයාචනා කළ බවද ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත්තේ සටන් විරාමය දැන් ක්‍රියාත්මක බවයි. එය උල්ලංඝණය නොකරන ලෙසද ඔහු එහි සඳහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයෙන් පසු ඉරානය ඊශ්‍රායලයට තවත් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ 25 වන අවස්ථාව බවයි.

එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ පළමු ප්‍රහාරය වනවා.

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුමකට එකඟ වූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්ච් ප්‍රකාශ කළේ එවැනි කිසිවකට ඉරානය එකඟ වී නොමැති බවයි.

ඊශ්‍රායලය ප්‍රහාර නතර කරන තුරු සටන් විරාමයකට එළඹීමේ කිසිදු අදහසක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊශ්‍රායලය සිදු කරන නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් ඉරානයේ ප්‍රතිචාර දැක්වූ අඛණ්ඩව සිදු කරගෙන යාමට අදහසක් නොමැති බව එක්ස් සටහනක් තබමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා.

ටෙහෙරාන් වේලාවෙන් අලුයම 04ට පෙර ඊශ්‍රායලය නීති විරෝධී ආක්‍රමණය නතර කළහොත් එලෙස සිය ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව කරගෙන යාමට අදහසක් නොමැති බවයි ඔහු සිය එක්ස් සටහනේ වැඩිදුරටත් දක්වා තිබුණේ.

මේ අතර ඊශ්‍රායලයද ඉරානය සටන් විරාමය ප්‍රකාශ කිරීමට පෙර පවසා තිබුණේ ඉරාන භූමියේ ඉලක්ක වෙත තවදුරටත් පහර දෙන බවයි.

එවැනි ඉලක්ක රාශියක් තවමත් ඇති බවත් එම ඉලක්ක සඳහා ප්‍රහාර එල්ල කිරීම තවමත් අවසන් කර නොමැති බවයි ඊශ්‍රායලය පවසා ඇත්තේ.

ටෙහෙරාන් අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වන සෙඩිගි සේබර් ඝාතනය කළ බවද ඊශ්‍රායලය පවසා තිබෙනවා.

ටෙහෙරාන් අගනුවර වීදියකදී එම න්‍යෂ්ටික විද්‍යාඥයාට ප්‍රහාරයක් එල්ල වූ බවට මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඉරානය විසින් සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

අවම වශයෙන් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම වාර්තාවල සඳහන්.

මේ අතර විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසුවේ ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

එම රටවල්වලින් ආපසු පැමිනීම සඳහා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද නියොජ්්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.