ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් මෙහෙයවන ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන ගෝලයෙකු කළුතර, පළාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත එම නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ රැසකට සහ පුද්ගල පහරදීම් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටිනවා. ඔහු ත්‍රීවිල් රථයක් මගින් ඊසි කෑෂ් ක්‍රමයට කළුතර, මතුගම, පානදුර, පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටයි අනාවරණ වී ඇත්තේ. අදාළ ත්‍රීවිල් රථයෙන් සැකකරු ගමන් කරන අවස්ථාවේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 101ක්ද සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි කළුතර පළාතොට ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.