ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මතභේදයට තුඩු දුන් ඖෂධ සමාගමේ හිමිකරු වූ සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු 4 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

මෙම ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය හමුවේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු ඉකුත් ජූලි මස 11 වන දා සම්පූර්ණ වී ඇති බව සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුවේ මුල් ගොනුව එම නඩුකරය විභාග කිරීම සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට යොමු කර තිබෙන බවත් එබැවින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝග ප්‍රතිශෝධනය කිරීමට මෙම අවස්ථාවේදී හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කර සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය මෙම ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 4 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්දනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එම නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ව ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.