ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වූ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය සඳහන් කළේ මෙම සැකකරුට එරෙහිව මේ විට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරා ඇති බවයි. ඒ අනුව මෙම සැකකරුට එරෙහිව තවදුරටත් මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් නොපවතින බවට කරුණු අනාවරණය වන හෙයින් තම අධිකරණයට ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දිය නොහැකි බවත් එම ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරිය නියම කළා. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පලමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම් කර තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කරයි ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහාධිකරණයෙන් ඉල්ලා තිබුණා.