අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා " ස්වාමීනී... 2022 වසරේ දෙසැම්බර් මස අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන ආයතන හතරක සේවකයින්ට රක්ෂණාවරණය ලබාදීම සිදු කරනවා. නිසි මිල ගණන් කැඳවීමකින් පසුව තමයි එම රක්ෂනාවරණය ලබාදෙන සමාගම තෝරාගන්නේ. ඒ අනුව පසුගිය වසර 10 තුළ එම රක්ෂනාවරණය සැපයීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තෝරාගෙන තිබුණා. තැරැව්කාර රක්ෂණ සමාගම් වල සේවය ලබාගෙන තිබුණේ නෑ. 2020 වසරේ දෙසැම්බර් මස 31 වනදා මෙම සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් කැඳවා දැනුම් දී තිබෙනවා මේ රක්ෂණ කටයුතු
" මයි ඉන්සුවරන්ස් බ්‍රෝකර්" නමැති සමාගමට පිරිනමන ලෙස. නමුත් එම ක්‍රියාවට එම නිලධාරීන් එකග වෙලා නෑ. ඒ අවස්ථාවේදී කුවේට්හි කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමං වී සිටින මෙරට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා සී.ආර්.සී. නමැති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සියයට 10 ක කොමිස් මුදලක් "මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර් සමාගමට" නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ලිපියකින් දැනුම් දෙන්නැයි ඇමතිවරයා වශයෙන් මේ සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිට හා අධ්යක්ෂ ජනරාල්ට බලපෑම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් එම ලිපිය රක්ෂණ සංස්ථාවට යොමු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සියයට 10 ක කොමිස් මුදල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් අදාල තැරැව්කාර සමාගමට මුදාහැර තිබෙනවා. මේ හරහා මේ සැකකාර අමාත්‍යවරයා අදාළ තැරැව්කාර සමාගමට වාසියක් වන ආකාරයෙන් කටයුතු කර ඇති අතර ඒ තුළින් රජයට රුපියල් 4750828.72 ක පාඩුවක් සිදුකර තිබෙනවා" යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරියා" ස්වාමීනී...මේ
පිළිබඳව "මයි ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්" නමැති සමාගමෙන් අපි විමසීම් කළා. ඔවුන් සඳහන් කළා රක්ෂණ සංස්ථාවෙන් ලැබුණු මුදල් ආපසු අල්ලස් කොමිසමට ලබාදිය හැකි බව. මේ මුදල් පිළිබඳව අපි එම සමාගමේ හිමිකරුගෙන් ප්‍රශ්න කළා. එම ප්‍රකාශයට අනුව හෙළිවී තිබෙනවා එම මුදල් ගිණුම් පහකට හුවමාරු වී තිබෙන බව. එහෙත් කාගේ කොයි ගිණුමට මේ මුදල් ගමන් කළාද කියලා ඒ පුද්ගලයා සඳහන් කරන්නේ නැහැ. මෙතන මුදල් විශුද්ධිකරණයක් සිදු වෙලා තිබෙනවාද කියලා සැකයක් මතුවී තිබෙනවා. කාගේ ගිණුම් වලටද මේ මුදල් ගමන් කළේ කියලා විමර්ශන කරන්න තිබෙනවා. මෙම තත්වය යටතේ මෙම සැකකරුට ඇප නියම කළහොත් ඒ තුළින් විමර්ශන වලට බලපෑම් සිදුවෙන්න පුළුවන්. මොකද මේ සැකකරු දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල්ට දුරකථනයෙන් කතා කර බලපෑම් කර තිබෙන බව හෙළි වී තිබෙනවා. ඇප දුනහොත් මෙවැනි බලපෑම් සිදුවිය හැකියි." එම නිසා මෙම සැකකරුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" ස්වාමීනි... කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමං වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් කුවේට් රාජ්‍යයේ සිරවී සිටියා. ඔවුන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඔවුන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් රජයට දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව අදාල ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ සැකකරු කරුණු සොයා බැලුවා. ඔහු රාජ්‍ය ආයතන වලින් ඉල්ලීම් කළා. එහෙත් ආර්ථික අහේනිය නිසා සෑම ආයතනයක්ම කිව්වේ ඒ සඳහා මුදල් ලබාදිය නොහැකි බව. පසුව ඔහු සංචාරක හෝටල්වලින් ඉල්ලීමක් කළා. එම ආයතනත් කිව්වේ තමන් ආර්ථික අර්බුදයකට නතුවී සිටින නිසා මුදල් ලබා දිය නොහැකි බව. පසුව ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග සාකච්ඡා කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කළා අපිට ගුවන් යානයක් දෙන්න පුළුවන් ඒත් ඒකට අවශ්‍ය කරන මුදල් ඔයාලා හොයාගන්න ඕන කියල. ඒ අනුව විවෘත සාකච්ඡාවක් කැඳවලා මේ සැකකරු රක්ෂණ තැරැව්කරුවන්ගෙන් ඒ මුදල ලබා ගන්න පුළුවන්ද කියලා සොයා බැලුවා. ඒ අනුව තමයි "මයි ඉන්සුවරන්ස් බ්‍රෝකර්" නමැති සමාගම තෝරාගත්තේ. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය හරහා ලිපියක් යොමු කළා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සියයට 10 කොමිස් මුදලක් අදාළ තැරැව්කාර සමාගමට මුදා හරින ලෙස. ඒ අනුව එම මුදල රක්ෂණ සංස්ථාව විසින් අදාළ සමාගමට මුදා හැරියා. ඒ අනුව අර අතරමංව සිටි ශ්‍රමිකයින්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවුණා. මෙම කටයුත්ත ඉටු කිරීමේදී මේ සැකකරු කිසිදු රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේ නැහැ. මේ ක්‍රියාවලියට මොහු සම්බන්ධ වුණේ නැහැ. මේ සියලු කටයුතු සිදු වුණේ සංචාරක සංවර්ධන අධිකාරියේ තීරණවලට අනුවයි. කුවේට් රාජ්‍යය අතරමං වී සිටි සේවකයින්ට ගෙන්වා ගැනීම සඳහා වැඩ කිරීම නිසයි මේ තත්ත්වය උදාවුණේ. එසේ නොකර නිකන් හිටියා නම් මෙහෙම නඩුවක් එන්නෙත් නෑ. ඔහු අද මේ අධිකරණයට එන්නෙත් නෑ" යනුවෙන් ප්‍රකාශ කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා" ස්වාමීනී මේ සැකකරු ප්‍රසන්න රණතුංග වීම නිසයි මොහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා අල්ලස් කොමිසම ඉල්ලන්නේ. මොවුන්ට මේ සැකකරුව ලබන 21 ට පෙර රිමාන්ඩ් කරන්න අවශ්‍යයි. ස්වාමීනී... මේ අල්ලස් කොමිසම ප්‍රකාශ කරනවා මේ සැකකරුට ඇප දුන්නොත් විමර්ශන කටයුතු වලට බාධා සිදුවෙන්න පුළුවන් කියලා. ඒක කිසිසේත්ම පිළිගන්න බැහැ ස්වාමීනි. මොහු පරාජිත රජයක හිටපු අමාත්‍යවරයෙක්. මේ පරාජිත පුද්ගලයාට පුළුවන්ද? වර්තමානයේ ඉන්න රජයේ නිලධාරීන්ට බලපෑම් කරන්න. අනික ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා විමර්ශනයක් තිබෙනවාය කියන පදනම් මත සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න බැහැ කියලා. එහෙත් මේ අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. මේ සැකකරු ඇපමත මුදා හැරියා කියලා කිසිදු මහජන කැලඹීමක් ඇති වෙන්නෙත් නෑ" ඒ නිසා මේ සැකකරු ඕනෑම දරුණුම අපරාධකරුවකුට ලබාදෙනු ලබන ඇප කොන්දේසි මත මුදා හරින්න කියලා මා ඉල්ලා සිටිනවා." යනුවෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ නලින් ලද්දුවෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි මේ සැකකරු සැත්කමකට භාජනය වෙලා තිබෙනවා. වෛද්‍ය නිර්දේශ වලට අනුව සාමාන්‍ය පරිදි ඔහුට ආහාර ලබා ගැනීමට හැකියාවක් නැහැ. පැය තුන හතරකට වරක් වෛද්‍යවරු නිර්දේශ කර තිබෙන පරිදි සුළු වශයෙන් තමයි ඔහුට ආහාර ලබා ගැනීමට සිදුවෙන්නේ. ඊට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබන ප්‍රෝටින් සංඝටක ඇතුළත් විය යුතුයි. මෙම ආහාර රටාව අනුගමනය නොකලොත් ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වී කෝමා තත්ත්වයට පත්වීමේ අනතුරක් තිබෙනවා. එසේ වුවත් ඔහුගේ ජීවිතයට පවා අවදානමක් ඇතිවෙන්න පුළුවන්." යනුවෙන් කියා සිටියා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ බව සැකකරු විසින් ප්‍රකාශ කළත් එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව සඳහන් කළා.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා " මෙම සැකකරු සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිට හා අධ්යක්ෂ ජනරාල්ට දුරකථනයෙන් කතා කර තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණයේ ප්‍රකාශ කළත් ඒ බව අද දින වාර්තාවේ සඳහන් කර නැහැ. එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නෑ. එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් නෑ. විමර්ශන සිදු කරන බව අද දින වාර්තාවේ සඳහන් කරලත් නෑ. ඒ අනුව සැකකරු විසින් සිදුකළ බව කියන බලපෑම් පිළිබඳව නිශ්චිත කරුණු දැක්වීමක් අධිකරණයට ඉදිරිපත් වී නෑ." ඒ අනුව සැකකරු ඇප පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරිණ බවත් නියම කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වනදා කැඳවීමටද අධිකරණය නියම කළා.




