ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ස්විධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 05 දෙනා සතුව තිබූ ජංගම දුරකතන 28 විශේෂ පරික්‍ෂණයක් සඳහා යොමු කර තිබෙනවා. පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අදාළ දුරකතනවල දත්ත විශ්ලේෂණය කිරීම මේ යටතේ සිදු වන ප්‍රධාන කාර්යයක් බවයි. ඒ අනුව මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයින් අනාවරණය කර ගැනීමට එමගින් හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දේශපාලඥයින් සමග සබඳතා පවත්වා ඇති නම් ඒ පිළිබඳවද මෙහිදී තොරතුරු හෙළිවනු ඇති බවයි පොලීසියේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත සඳහන් කළා. මේ අතර, කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරටට ගෙන්වූ බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදීයි. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයාගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන මෙම රසායනික ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 50,000ක් පමණ වන බවටයි වාර්තා වන්නේ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගෙන තිබෙනවා.