පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණ නිලධාරීන්ට බැන තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහු පොලිස් නිලධාරීන්ට එලෙස බැන තර්ජනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ පාදුක්ක පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන් අනතුරුව පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණි සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයා ඊට විරෝධය දක්වමින් පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුට පහරදී තිබෙනවා. සෙසු පොලිස් නිලධාරීන් විසින් අදාළ හිටපු මන්ත්‍රීවරයා දැඩි පරිශ්‍රමයක් දරා සිර මැදිරියට දැමූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහු මේ වන විට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.