පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේවන විට ශ්‍රී ලංකාවට රැගෙන විත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. අදාළ සැකකරුගේ මව විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාදීකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එය සලකා බැලීම සඳහා ලබන 26 කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සංකාරිය කියා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සිය පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊට අමතරව රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස වග උත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.